දියවැඩියාවට සුවඳැල් සම්පූර්ණ නිවුඩ්ඩ සහිත සහල් 1Kg Rs.800.00
බෙරි බතට සුවඳැල් + රත් සුවඳැල් මාස හයෙන් දෙන බත් 500g Rs.500.00
ඇල් හාල් සුවඳැල් අහස් දියෙන් පමණක් හේන් වගාව 500g Rs.400.00
කහ බත්, ප්‍රයිඩ් රයස්, බුරියානි සදහා 1Kg Rs.800.00
රක්ත හීනතාවය සදහා රත් සුවඳැල් 1Kg Rs.800.00
සුවඳැල් කැඳ කලුතල කුරහං මුංඇට කිතුල් සමග 500g Rs.500.00
ශ්‍රී ලංකවෙ පාරම්පරික සහල්, බෝ නොවන රෝග සදහා සාර්තකව ක්‍රියාත්මක වන්නේ ඒ සදහා අවශ්‍ය විශේෂිත ශාඛ සමග කැඳ පානයක් ලෙස භාවිතා කිරීමෙනි Traditional rice in Sri Lanka works successfully for non-communicable diseases by using it as a beverage with specialized herbs.
ශ්‍රී ලංකවෙ පාරම්පරික සහල් නිශ්පාදනය වස විස නැති කෘෂිකර්මාන්තය” ගැන මෙන්ම ‘වස විස නැති ආහාර පාරිභෝජනය’ ‘කාබනික පොහොර යොදා වගා කළ ආහාර’ ගැන වර්තමානයේ අපේ සමාජයේ දැඩි අවධානයක් යොමුවෙමින් තිබෙනවා. සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ සාකච්ඡාවේදී මේ තත්ත්වය සැලකෙන්නේ ධනාත්මක ප්‍රවණතාවක් විදිහටයි. ඒ වගේම පරිසරය ගැන සලකා බලනවිටත් මෙය ඉතා වැදගත් කරුණක් ලෙස සැලකිය හැකියි.
මේ තත්ත්වය තුළ ‘පාරම්පරික වී’ වගා කිරීම මෙන්ම පාරිභෝජනයත් සැලකිය යුතු වැදගත්කමක් හිමිකරගෙන තිබෙනවා. එහෙත් පාරම්පරික වී වගා කිරීමේදී අලෙවියේදී මෙන්ම පාරිභෝජනයේදී යම් යම් ගැටලු පවතින බව පසුගිය කාලය පුරාම විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. පාරම්පරික වී වගා කරන ගොවීන් දුර්මුඛ කරන ගැටලු පැන නැඟීම ගැන ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම මේ පිළිබඳව උනන්දු වන සෙසු පාර්ශ්වයන්ද කඩිනම් අවධානයක් යොමු කළ යුතුයි.
අනුරාධපුර, පොළොන්නරුව කාලේ ඉඳන් අපේ හෙළ ගොවියෝ වගා කළ වී වර්ගවලට තමයි අද ‘දේශීය වී’ කියලා කියන්නේ. අද ගණන් බලලා තියෙන ආකාරයට ලංකාවේ දේශීය වී වර්ග දහස් ගණනක් තිබිලා තියෙනවා. 1950 විතර වෙනකොට මේ දේශීය වී වර්ග ක්‍රමයෙන් විනාශ වෙලා 200 ක් විතර ඉතුරුවෙලා තිබුණා. හීනටි, හොඬරවාලු, සූදුරු, සුවඳැල්, කළු වී, ඇල් වී, කුරුළු තුඩ, පච්චපරුමාල්, මාවී, මඩතාවාලු, කහවනු, රන් සුවඳැල්, පොක්කාලි, උණකොළ සම්බා, දහනල, රතු හීනටි, කට්ටමන්ජුල්, රත්දැල්, කලුබාලු, දික් වී, ගෝනබරු, දික් හීනටි, ගොඩ හීනටි වාගේ වී වර්ග තිබුණා.
පාරම්පරික වී වර්ගවලට දැවැන්ත හානිය සිදුවුණේ හරිත විප්ලවය මඟිනුයි. හරිත විප්ලවයේ අරමුණ වුණේ වැඩි නිෂ්පාදනයක් ලබාගැනීම. ඒ වෙනුවෙන් රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක භාවිතයට ගොවීන් නැඹුරු වුණා. ඒ වගේම පාරම්පරික බීජ වර්ග වෙනුවට දෙමුහුන් බීජ වර්ග භාවිත කිරීමට ගොවීන්ව උනන්දු කළා. ඒ අනුව වැඩි අස්වැන්නක් ලබාදෙන ‘එච්’ වර්ගයේ වී වගාව ලංකාව තුළ ප්‍රචලිත වුණා. ඊට සමගාමීව පාරම්පරික වී වර්ග වගා කිරීම ගොවීන්ගෙන් දුරස් වුණා. පාරම්පරික වී වර්ග රැසක් ලංකාවෙන් සදහටම තුරන් වෙලා ගියා. අද ලංකාවේ ඉතිරිවෙලා පවතින්නේ පාරම්පරික වී වර්ග කිහිපයක් පමණයි.
වස විස නැති කෘෂිකර්මාන්තය කෙරෙහි රජයේ මෙන්ම පුද්ගලික අංශයේ අවධානය යොමුවීම සමඟ යළිත් පාරම්පරික වී වර්ග වගා කිරීම සඳහා ගොවීන් උනන්දු කරන ව්‍යාපාරයක් දියත් වුණා. ඒ සඳහා රාජ්‍ය අංශයෙන් මෙන්ම විවිධ සංවිධාන රැසක දායකත්වය ලැබුණා.
මේ තත්ත්වයට සමගාමීව ජනතාව තුළින් ද පාරම්පරික සහල්වලට ඉල්ලුමක් ඇති වුණා. ඒ සඳහා විශේෂයෙන්ම සෞඛ්‍ය හා පෝෂණයට අදාළ කරුණු කිහිපයක් හේතු වුණා. පාරම්පරික සහල් පෝෂණය ගුණය අතින් මෙන්ම සෞඛ්යාරක්ෂිතභාවයෙන් ද ඉහළ බවට ජනතාව තුළ විශ්වාසයක් වර්ධනය වුණා. ශ්‍රී ලංකාවේ ජනතාව අතර දියවැඩියාව හා හදවත් රෝග බහුලවීමද මේ මතය සමාජගතවීම සඳහා ප්‍රබල හේතුවක් වුණා.
පාරම්පරික වී වගා කිරීමෙන් ගොවීන් ඈත්වීමට බලපෑ ප්‍රධාන කරුණක් වශයෙන් සැලකෙන්නේ අස්වැන්න දෙමුහුන් වී වර්ගවලට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වීමයි. එහෙත් දෙමුහුන් වී වගාවට භාවිත කරන රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක ආදිය සඳහා ද වැය වන මුදල එක් කළ විට පාරම්පරික වී වගාවට වඩා විශාල මුදලක් වැය වන බව පැහැදිලි කරුණක්. එමෙන්ම පාරම්පරික සහල් සඳහා ආකර්ෂණීය මිලක්ද (ඉහළ මිලක්) ලබා ගැනීමට පුළුල් හැකියාවක් අද පවතිනවා. පාරම්පරික සහල් ආශ්රිත අතුරු නිෂ්පාදන (කැඳ වර්ග) සඳහා ද ඉහළ ඉල්ලුමක් පවතින බවක් අපට දැකිය හැකියි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් 2014 වර්ෂයේදී සිදුකළ පර්යේෂණයක් අනුව ශ්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක පාරම්පරික සහල් ප්රභේදයන්හි නිෂ්පාදනය සහ අලෙවිය වර්තමාන තත්ත්වය සහ අනාගත විභවතා හඳුනාගෙන තිබෙන්නේ පාරම්පරික වී වගාව සඳහා ගොවීන් බහුලව යොමුවී තිබෙන්නේ 2010 වසරේදී පමණ සිට බවයි. පාරම්පරික වී වගාව ගොවීන් අතර ජනප්‍රිය කරවීම සඳහා ගොවි සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ දිවයින පුරාම පාරම්පරික වී වගාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සංවිධාන කිහිපයක් ප්‍රබල දායකත්වයක් ලබාදී ඇති බව එම පර්යේෂණ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා. මෙම සංවිධාන විසින් පාරම්පරික වී මිලදී ගැනීම, අලෙවිකරණයට අවශ්‍ය සම්බන්ධතා සොයාදීම, තාක්ෂණික සහය ලබාදීම මෙන්ම බීජ සැපයීමද සිදුකරනවා.
පාරම්පරික වී වගාවේ ප්රවණතා සහ අභියෝග
හරිත විප්ලවය සමඟ ලංකාවේ පමණක් නොවෙයි අවුරුදු දහස් ගණනක් පුරා වී වගාව සිදුවූ ඉන්දියාව ඇතුළු රටවල පවා පාරම්පරික වී ප්‍රභේද දහස් ගණනක් නැත්තටම නැතිවුණා. මීට පෙර සඳහන් කළ ආකාරයට 1950 දශකය වනවිට දෙමුහුන් වී වර්ග භාවිතය ජනප්‍රියවීමත් සමඟ ලංකාවෙත් ගොවීන් අතර භාවිත වූ පාරම්පරික වී වර්ග සහමුලින්ම අතුරුදන් වන තත්ත්වයක් උද්ගත වෙලා තිබුණා. එහෙත් පාරම්පරික වී වර්ගවලට ආදරය කළ ගොවීන් අතළොස්සක් අතර පාරම්පරික වී වර්ග කිහිපයක් ඉතුරුවෙලා තිබුණා.
මීට කලකට පෙර අලුත් ජවයක් හා දැක්මක් සමඟ යළිත් අපේ කෙත් බිම් පුරා වගා කෙරෙමින් තිබෙන්නේ දෛවෝපගත ආකාරයෙන් සුරක්ෂිත වූ මේ පාරම්පරික වී වර්ගවලින් ලබාගත් බීජ වර්ගයි. වර්තමානයේ පාරම්පරික වී වගා කරන ගොවීන්ට අවශ්‍ය බීජ වී ලබා ගැනීම සඳහා මූලික සහාය ලබාදෙන්නේ ‘පාරම්පරික බීජ හා ගොවි උරුමයන් සුරැකීමේ ව්‍යාපාරය’ සහ ‘දේශීය බීජ සහ කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සම්මේලනය’ මඟිනුයි.
පාරම්පරික වී වගාව සහ ‘කාබනික ගොවිතැන’ අතර පවතින්නේ මනා සම්බන්ධාවයක්. පාරම්පරික වී වගාව ප්‍රචලිත කිරීමේ ප්‍රධාන අරමුණක් ද වුණේ කාබනික පොහොර භාවිතයෙන් වස විසවලින් තොරව වී වගා කිරීමයි. වර්තමානයේදී පාරම්පරික සහල් සඳහා පාරිභෝගිකයින් වෙතින් ඉහළ ඉල්ලුමක් පවතින්නේ ද ඒ සඳහා කාබනික පොහොර භාවිතා කරන නිසයි. මේ තත්ත්වය හමුවේ පාරම්පරික වී වගා කරන ගොවීන් කාබනික පොහොර ප්‍රධාන පොෙහාර වර්ගය ලෙස භාවිත කිරීම සුලභ තත්ත්වයක්. ඔවුන් කාබනික පොහොර වශයෙන් කොම්පෝස්ට්, පිදුරු සහ කොළ පොහොර භාවිතයට වැඩි නැඹුරුවක් දක්වන බවක් පේනවා.
ඉහත සඳහන් කළ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්තාව අනුව පාරම්පරික වී වර්ග වගා කරන ගොවීන්ගෙන් සියයට 87 ක් (නියැදිය තුළ) රසායනික පොහොර භාවිතයෙන් වැළකී සිටිනවා. ඒ වෙනුවට කොම්පෝස්ට් ෙපාහොර, පිදුරු සහ කොළ පොහොර භාවිත කරනවා. පාරම්පරික වී වගාවේදී රසායනික පොහොර භාවිතයෙන් තොරවීම මෙන්ම කෘමි හා වල්නැසීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරවීමත් සිදුවිය යුතුයි.
මේ තත්ත්වය පාරම්පරික වී වගා කරන ගොවීන් අනුගමනය කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ පර්යේෂණ වාර්තා හෙළි කරනවා. ඔවුන් සඳහන් කරන ආකාරයට තමන්ගේ නියැදිය තුළ සිටි ගොවීන්ගෙන් සියයට 72 ක් කෘමිනාශක හා වල්නාශක භාවිතයෙන් වැළකී ඒ සඳහා පාරම්පරික ක්‍රම භාවිත කරනවා.
පාරම්පරික වී වගාවේ ප්රවණතා සහ අභියෝග
පාරම්පරික වී වගා කරන ගොවීන්ට දේශීය වෙළෙඳ පොළේදී අනෙකුත් සහල් වර්ග සමඟ දැවැන්ත තරගයක යෙදීමට සිදුවෙලා තිබෙනවා. දැවැන්ත සහල් වෙළෙඳුන්ගේ ඒකාධිකාරිය, ඔවුන් විසින් පවත්වාගෙන යන ශක්තිමත් අලෙවි ජාලය මේ අතර ප්‍රධානයි. මේ තත්ත්වය තුළ පාරම්පරික සහල් වර්ග සඳහා වෙළෙඳ පොළ තුළ පවතින ඉල්ලුමේ ස්වභාවයත් අප හඳුනාගත යුතුයි. මන්ද වෙළෙඳ පොළ ඉල්ලුමේ ස්වභාවය නිසි හැදෑරීමකින් තොරව සිදුවන නිෂ්පාදන කටයුතු බොහෝ විට ගොවීන්ට හානිකර විය හැකියි. පාරම්පරික සහල් වෙළෙඳ පොළ තුළ වැඩිම ඉල්ලුමක් පවතින්නේ ‘සුවඳැල්’ සහල් සඳහා බවයි දැකිය හැකි වන්නේ. ඊට පසුව කුරුළුතුඩ, පච්චපෙරුමාල්, හීනටි, කහවනු, දික්වී, මඩතාවාළු, වැලිහන්දිරන් සහ පොක්කාලි සහල් සඳහා ඉල්ලුමක් පවතිනවා.
ඉහත සමීක්ෂණය අනුව නම් සුවඳැල් සහල් සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ අනුරාධපුර සහ කොළඹ දිස්ත්‍රික්කවලයි. කුරුළුතුඩ සඳහා ගාල්ලත්, පච්චපෙරුමාල් සඳහා කුරුණෑගලත් ඉහළ ඉල්ලුමක් තිබෙනවා. හීනටි සඳහා වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ කුරුණෑගල හා අනුරාධපුර දිස්ත්‍රික්කවලයි. කහවනු සහල් සඳහා කෑගල්ලෙත් දික්වී සඳහා ගාල්ලෙත් ඉහළ ඉල්ලුමක් තිබෙනවා.
පාරම්පරික වී ගොවීන් ගැටලු රැසකට මුහුණ දී සිටින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කියනවා. ඒ අතර ඉදිරියෙන්ම තිබෙන්නේ ව්‍යාප්ති සේවය ඉතාමත් පහළ මට්ටමක පැවතීමයි. ඔවුන් හෙළිකරගත් ආකාරයට ගොවීන්ගෙන් සියයට 30 කට පමණ පාරම්පරික වී වගාව සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම වගා ක්‍රම යනාදිය පිළිබඳ කිසිදු ව්‍යාප්ති සේවයකින් දැනුම ලැබෙන්නේ නැහැ.
මේ අතර පාරම්පරික ගොවීන් අතර පවතින තවත් ගැටලුවක් වන්නේ පාරම්පරික වී වර්ගවලින් අඩු අස්වැන්නක් ලැබීමයි. එමෙන්ම නිවැරදි හා පිරිසිදු බීජ හිඟයෙන්ද මේ ගොවීන් දැඩිව පීඩාවට පත්ව සිටිනවා. පාරම්පරික වී වගාවේ නිෂ්පාදන පිරිවැය ඉහළ බවටද මැසිවිල්ලක් ගොවීන් අතර තිබෙනවා. ඔවුන් කියන්නේ නව වී වගාවේ නිෂ්පාදන පිරිවැය හා සැලකීමේදී පාරම්පරික වී වර්ග වගා කිරීම වියදම් අධික කාර්යයක් බවයි. එහෙත් පාරම්පරික සහල් කිලෝවක් සඳහා ලැබෙන ඉහළ මිල අනුව නම් නව වී වගාවට සාපේක්ෂව පාරම්පරික වී වගාව වාසිදායක බව පැහැදිලි වෙනවා. පාරම්පරික වී වගා කරන ගොවීන් වැඩි පිරිසක් සඳහන් කරන්නේ තමන්ට අලෙවිකරණයේදී කිසිදු ගැටලුවක් නොමැති වුවත් තොග ප්‍රමාණය සීමා සහිත වීම, අලුත් වෙළෙඳ පොළවල් සොයා ගැනීම අසීරු වන අවස්ථා පවතින බවයි.
පාරම්පරික වී වගාවේ ප්රවණතා සහ අභියෝග
සුවඳැල්, රත්දැල් හා කුරුළුතුඩ යන වී වර්ග සඳහා ප්රමුඛ අපනයන අවස්ථා පවතිනවා. මාලදිවයින, ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ මැදපෙරදිග රටවලින් පාරම්පරික සහල් සඳහා ඉල්ලුමක් පවතින බව අපනයනකරුවන් සඳහන් කරනවා. එහෙත් පාරම්පරික වී ගොවීන්ගෙන් වැඩි පිරිසක් බීජ වී වශයෙන් පාරම්පරික වී අලෙවි නොකරන අතර වැඩි ප්‍රතිශතයක් තම පරිභෝජනය සඳහා පමණක් වගා කරනු දැකිය හැකියි. මේ නිසා වෙළෙඳ පොළ පුළුල් නොවීමේ ගැටලු තිබෙනවා. එමෙන්ම අඛණ්ඩව ඉහළ සැපයුමක් නොමැතිවීමද ගැටලුවක් බව දැකිය හැකියි.
පාරම්පරික සහල් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගෙන් අතිබහුතරයක් ඒවා භාවිත කරන්නේ යම් යම් ලෙඩ රෝග සඳහා ගුණදායක යැයි යන විශ්වාසය නිසා බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය කියනවා. ඔවුන්ගේ සමීක්ෂණය නියැදියට අනුව සියයට 88 ක් පමණ පාරම්පරික සහල් පරිභෝජනය කරන්නේ විවිධ ලෙඩ රෝග සඳහා ඒවා සුදුසු යැයි මතය අනුවයි. ඉන් බහුතරය දියවැඩියාවට පිළියමක් ලෙස බව හෙළි වූ බවයි එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
පාරම්පරික වී වර්ගවලින් නිෂ්පාදනය කරන හැම සහල් වර්ගයකම නැවුම් සුවඳක් වාගේම හොඳ රසයක් තියෙනවා. මේ සහල් වර්ග පෝෂණ ගුණය අතින්ද ඉතාමත්ම ඉහළයි. කාර්මික තාක්ෂණ ආයතනය කරපු පර්යේෂණයකින් හොයාගෙන තිබෙන ආකාරයට, කලුබාල, පච්චපෙරුමාල්, දහනල, රතුහීනටි, කට්ටමන්ජුල් වගේම රත්දැල් කියන දේශීය සහල්වල යකඩ වගේම ප්‍රෝටීන් වැඩියි. ඒ නිසා යකඩ ඌනතාවට ඉතාම සුදුසුයි. දරුවන් ලැබෙන්නේ ඉන්න අම්මලාට. කිරිදෙන අම්මලාට මේ සහල් ඉතාම සුදුසුයි. ඒ වගේම කලුබාල, පච්චපෙරුමාල්, රත් සුවඳැල්, කලුහීනටි වගේ සහල්වල ප්‍රතිඔක්සිකාරක වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒවා හදවත් රෝග, පිළිකා පාලනයට හොඳයි. සුවඳැල්, මසුරන්, දික්වී, ගෝනබරු වගේ සහල්වල පිෂ්ටය ජීර්ණය කිරීම අඩු කරන්න පුළුවන් ගුණයක් තියෙන නිසා ඒවා දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායක බවත් මේ වනවිට පර්යේෂණ මඟින් තහවුරු කරගෙන තිබෙනවා.
පාරම්පරික සහල් පාරිභෝගිකයින්ගෙන් වැඩි පිරිසක් එම සහල් වර්ගවල ගුණාත්මකභාවය, රසය සහ කාබනික පොහොර යොදා වගා කිරීම ගැන වඩාත් සැලකිලිමත් වන බවද දැකිය හැකියි. ඒ වගේම මෙම සහල් වර්ග මිලදී ගන්නේ ආදායම් මට්මමින් ඉහළ අයයි. පාරම්පරික සහල් පාරිභෝගිකයින් ද ගැටලු රැසකට මුහුණ පා සිටිනවා. ඒ අතර ප්‍රධාන වන්නේ මිලදී ගැනීමේ ස්ථානවල හිඟයයි. එමෙන්ම මිලදී ගන්නේ නියම පාරම්පරික සහල් ද යන්න හඳුනා ගැනීමේ ගැටලුත් පරිභෝගිකයින්ට තිබෙනවා. පාරම්පරික සහල් සෙසු සහල් වර්ගවලට සාපේක්ෂව මිලෙන් අධිකයි. දියවැඩියාව ආදී රෝග සඳහා මෙම සහල් මිලදී ගැනීමට දිළිඳු ජනතාවට මේ නිසා නොහැකි වෙලා තිබෙනවා. එමෙන්ම කාබනික පොහොර යොදා ඇති බවට හෝ එහි ගුණාත්මකභාවය පිළිබඳ සහතිකයක් නොවීමද මේ සම්බන්ධ ප්‍රබල ගැටලුවක්.
පාරම්පරික වී වගාවකරුවන්, අලෙවිකරුවන් සහ පාරිභෝගිකයින් මුහුණ දෙන ගැටලු විසඳා ගනිමින් එම කර්මාන්තය සංවර්ධනය කිරීම සඳහා වන නිර්දේශ කිහිපයක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ඉදිරිපත් කරනවා. එහිදී එම ආයතනය කියන්නේ, නව සහල් වර්ගවලට සාපේක්ෂව පාරම්පරික සහල්වල අස්වැන්න පහළ මට්ටමක පවතින බැවින් ජාතික සහල් අවශ්‍යතාවය සැපිරීම සඳහා මෙම දෙවර්ගයේම (පාරම්පරික සහල් සහ නව සහල් වර්ග) ‘සහල්’ නිෂ්පාදනය කළ යුතුයි. පාරම්පරික වී වගාව ඉහළ නැංවීම සඳහා බස්නාහිර පළාතේ පුරන් කුඹුරු යොදාගත හැකියි.
සුළු වාරිමාර්ග සහ වර්ෂා පෝෂිත ප්‍රදේශවල ඇති අස්වනු සාපේක්ෂව පහළ මට්ටමක පවතින කුඹුරු ද පාරම්පරික වී වගාව සඳහා යොදාගත හැකියි. මූලික වශයෙන් පාරිභෝගික හා ගොවීන්ගේ රුචිකත්වය අනුව තෝරාගත් වී වර්ග කිහිපයක් ප්‍රවර්ධනය සඳහා යොදාගත යුතුයි. රජයේ පොහොර සහනාධාර ක්‍රමයට අනුබද්ධිතව පාරම්පරික වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර ලබාදීම කළ යුතුයි.
පාරම්පරික වී වගාව ප්‍රචලිත කිරීම හා සම්බන්ධව ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානවල සහභාගිත්වයෙන් සාර්ථක ව්‍යාප්ති සේවයක් ඇති කළ යුතුයි. පිරිසිදු බීජ ලබාගන්නා ක්‍රමවේදයක් සැකසිය යුතු අතර එම ක්ෂේත්රයේ ක්‍රියාත්මක වන විවිධ සංවිධාන හා ආයතන අතර සම්බන්ධයක් ඇති කළ යුතුයි. පාරම්පරික සහල් වර්ගවල පවතින පෝෂණමය වටිනාකම පිළිබඳ නව විද්‍යාත්මක පර්යේෂණයන් වැඩි වැඩියෙන් සිදුවිය යුතුයි.
පාරම්පරික සහල් පරිභෝජනය සම්බන්ධයෙන් පොදු ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇති කළ යුතුයි. මේ සඳහා ගුවන් යානාවල ඇති සඟරා ආදියෙහි පාරම්පරික සහල් පිළිබඳව දැන්වීම් පළ කිරීමත්, ජනප්‍රිය චරිත යොදාගනිමින් ඒ පිළිබඳව දැනුවත් කිරීම මඟින් සමාජය තුළ පාරම්පරික සහල් පරිභෝජනය ජනප්‍රිය කළ හැකියි.
කුඩා කැඳ පැකට්, කුඩා ළමුන්ට හා ගැබිනි මවුවරුන්ට, රෝගීන්ට ගැළපෙන සහල් වර්ග කුඩා ටින්වල ඇසිරීම ආදිය මඟින් සැකසීමට පහසු හා පහසුවෙන් ආකර්ෂණය වන අයුරින් පාරම්පරික සහල් සඳහා අගය එකතු කළ හැකි බව අලෙවිකරුවන්ට වටහා දිය යුතුයි.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි රෝෂිණි රඹුක්වැල්ල සහ පර්යේෂණ නිලධාරි, චමිත් ප්‍රියංකර විසින් සම්පාදිත ‘ශ්‍රී ලංකාවේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක පාරම්පරික සහල් ප්රභේදයන්හි නිෂ්පාදන සහ අලෙවිය. වර්තමාන තත්ත්වය සහ අනාගත විභවතා’ යන සංක්ෂිප්ත ප්‍රතිපත්ති සටහන ඇසුරිනි.
තුෂාල් විතානගේ